Archive for the ‘හිතට එන සිතුවිලි’ Category

මිස් මරූටි

අපො මේ වැස්ස පායන එකක් නැද්ද? මිස් මරෑටි එළියට බහින ගමන් හිතුවේ හරිම හිරිකිතෙන්.පාරෙ මඩ වලවල් පිරිලා.අඩියක් පේන්නෙත් නැති තරමට.. වැටුනොත් කකුලක් කොර වෙයි. මොනවා කරන්නද යන්න වෙනවා..

“රිය ඇතුලේ උණුහුම ඔබට දිදි නහවයි මා පැන පැන මඩ වතුරේ“

ඒ සිංදුව කියන්නේ මරූටිටමයි කියලා එයාට හිතුනේ මේ වගේ වෙලාවල තමා. ඔන්න මේ වැස්ස අස්සේ අකුණුත් පුපුරනවා.. නුග ගහක් යට නැවතිලා හිටපු සිවික් කෙල්ලෙක් බයටම කෑ ගහන්න ගත්තා.

අනේ පවු අයිතිකාරයො නැතුව ඇති… මේ වැස්සෙ ඇහෙන්නෙත් නැතුව ඇති…

මරූටි දුක් වුනා..

ඔන්න ඊඟාව එපා කරපු වැඩේ.. ඇඟේ ගෑ වී නොගෑ වී ට්‍රැෆික් එකේ නැවතිලා ඉන්න එක.. ඒ මදිවට වැස්ස.. නොනවත්වා නලලට වැටෙන වැහි බිංදු ටික පිහදාන ගමන් මරූටිට සුසුමක් හෙලුනා.

ස් ස් මේ මේ

ඒ කවුද මරූටි වටපිට බැලුවා..

මෙන්න එහා පැත්තේ ලස්සන හයිබ්‍රිඩ් කොල්ලෙක්.. කූලින් ග්ලාස් දාලා.. දිලිසෙන ඇඳූමක් ඇඳලා.. පුංචි හීරීමක් වත් නැතුව.. මරූටි හිනා වෙලා හෙඩ් ලයිට් බිමට හැරෙව්වෙ ලැජ්ජාවෙන්..

මේ මං ආසයි ඔයාගේ ස්කින් කලර් එකට..

පාකින් ලයිට් එක අස්සෙන් හෙමිට උඩ බලලා මරූටි හිනා වුනා..

හයිබ්‍රිඩ් මරූටි ට ඇහැක් ගැහැව්වා.. ඒ ඇත්තටම එයා මට කැමතිද? මට වඩා ලස්සන අය ඕනි තරම් ඉන්නේ? සෙරීනාලා කැරීනලා ..

හෙමින් හෙම්න් ඇදෙන වාහන කන්දරාවේ අඟලෙන් අඟල ලන් වුන මේ දෙන්නා කතා කරන්න ගත්තා.. ඒ විනාඩි ගානට ඉන්න තැනත් දැන කියා ගෙන ඉවරයි…

 

එක පාරටම පිටිපස්සෙන් ඇහුන කෑගැහිල්ලකින් අඩ විසි වෙච්චි මරෑටි පැත්තකට වුනා.. ඒ ඉඩ අස්සෙන් ඔළුව ඔබා ගත්ත හැමතැනම පච්ච කොටා ගෙන කනේ කරාබු 10 විතර දාගෙනරස්තියාදු කාර ත්‍රීවීල් එකක් මරූටි ලඟටම ආවා..

ඇඟේ ගෑවෙයි කියලා මරූටි හිටියේ හරි බයෙන්.. ඒත් එන්නෙම ඇඟට.. හයිබ්‍රිඩ් කොල්ලා නොපෙනී ගිහින්..

යාන්තං දැනෙන නොදැනෙන ගානට මරූටිගේ වම් කන ඉඹපු ත්‍රීවීල් කොල්ලා මෙහෙම කිව්වා

“ නංගී මං කතා කරනවා බොක්කෙන්

බොක්කෙන් කියන්නේ බෙංගාල බොක්කෙන්

කොච්චර වායු පීඩන සුළි සුලන් තිබුනත් මං උඹට ආදරෙයි

උඹ ආදරෙයි කියලා එක වචනයක් දාපන්

උඹව බැඳලා වත්තට එක්කන් ගිහින් මං දවස් 7 මඟුල් කනවා“

 

රතුවෙච්චි කන ගැන හිතන්නත් කලින් ත්‍රීවීල් කොල්ලා ඉගිලිලා ගිහින් තිබුනා…cars

ගිනි පුපුර

ජීවිතේ ගොඩක් කළුවරයි.පුංචි එළි ඇවිත් නිවිලා යනවා , පුංචි ගිනි පුපුරු වගේ. අපි නිවෙන ගිනි පුපුර ගැන තැවෙනවා.මොකද මොහොතකට හරි ඒකෙන් ලැබෙන පුංචි ආලෝකයට අපි ලෝබ නිසා.එකක් පසු පස එකක් ගිනි පුපුරු අපේ ජීවිතේට එබෙනවා.
සමහරු ඒ ගිනි පුපුර ලං කරගෙන ඉක්මනට නිවිලා ගියාම ඒ ගැනම විතරක් හිත හිතා දුක් වෙනවා.
තවත් සමහරු එක ගිනි පුපුරක් ලං කරගෙන ඒක නිවිලා ගියාම ඊලඟට එන ගිනි පුපුරෙන් එළිය බලනවා.
තවත් අය ගිනි පුපුර ගනන් නොගෙන ගිනි මැලයක් ගැන හිත හිතා ඉඳලා ඒක නොලැබුනාම අර නොසලකා හැරිය ගිනි පුපුරු ගැන දුක් වෙනවා.එතකොට ජීවිතේ ගෙවිලා ඉවරයි.
ඇත්තටම අපි මේ වගේ නේද?


_________________________________________________________

මම සිරුරක් සොයමි

පාර අද්දර කහ ඉරට අඩිය තැබුවා පමණි, කොහේදෝ සිට පැමිණි මොකක්දෝ දෙයක් මගේ ඇඟේ වැදුනු බව දැනුනි.එසැනින් සියල්ල කළුවර විය.කුමක් වූවාදැයි නොදනිමි.ක්‍රමක්‍රමයෙන් විශාල වන ආලෝක පුංජයක් මා කරා පැමිණෙන බව දැනුනි.

ක්‍රමයෙන් විශාල වන ආලෝකය කරා මම ඇදී ගියෙමි.මම පියාඹනවා විය යුතුය.ඇවිදීම කල නොහැකිය.අතක ඇඟිල්ලක්වත් සෙලවිය නොහැක.නිරායාසයෙන් මා ඉදිරියට ඇදීයයි.

ටිකෙන් ටික මා පිවිසියේ දේදුන්නක් වැනි වූ දෙයක් ආසන්නයටය.

හිතට සැහැල්ලුවක් දැනේ.තවත් බොහෝ වේලාවක් වුවත් එතැන සිටිය හැකිය.එහෙත් තව දුරටත් මා ඇදී යයි.

දැන් දැන් මා ඇදී යන්නේ වර්ණවත් වළාකුළු අතරිනි.ඇල්ලීමට වුවමනා වුවත් අත සෙලවීම කල නොහැක.එසේ වුවහොත් මෙතැනින් මා ඉවත් වෙතැයි අනියත බියක් ඇත.

පහළ බලන්න. හිත විධාන කරයි.

පාරක් මැද මිනිසුන් සමූහයකි. කහඉරක් මත කුමක්දෝ ඇත.ටිකෙන් ටික දර්ශණය පැහැදිලි වෙමින් පවතී.

රතු ලේ කළු තාර පාර වර්ණවත් කර ඇත.දැක පුරුදු ඇඳුමකි.කාගේදැයි කල්පනා නොවේ.

එය ඔබේය. හිත නැවතත් පැටළුම් හරියි.

ඔව් ඒ මාය….මාගේ සිරුරය. එය මා නම් මෙතැන සිටින්නේ කවුද? ඒත් මා ය.

මම තැන් දෙකක සිටිය නොහැකිය.

මම දැන් මම දෙස බලාහිඳිමි..

සෙලවීමක ඳු සිදුනොවේ..

එක්වරම මම කියා කෙනෙක් නැති බව අවබෝධ විණි..

පිරුවටයක් මෙන් සිත සමඟ මාද පිරිසිඳු වූත් හැඟීම් රහිත බවක් දැනෙන්නට විය.

සංසාර චක්‍රයේ තවත් එක් සංන්දිස්ථානයක අවසානයේ සහ ආරම්භයේ අතරමැද මම සිටිමි…

මම සිරුරක් සොයමි…
ඔව් මම සොයමි…………………..

අත්පිටපත

50 th Post

ප්‍රේමයේ අත්පිටපත
ලියා අවසන් කලෙමි අද දින
ටෙලියකට හෝ පොතකට
දෙන්න හිතුවෙමි ඉහළ මිළකට

සැප පුටුවකට බර දී ගෙන
බීර හා කටගැස්ම සමඟින
රසකර අප අතීතය
ඔබට පුළුවනි බලන්නට එය

සබ්රිනා

ෆර්දාව මත
සඳ එළිය
දඟලනව
මට පේනවා හොඳට
සබී (සබ්රිනා)…….
කුරානය
දිග හැරන්
දෑත අහසට යොමන්
දෙවිඳු අල්ලාහ්
යදින ඔබ
දුරයි මට සඳ වගේ
මගේ ආදර සබී………
ඉහළ අහසෙ
රාමලාන් සඳ
ඔච්චම් කරනවා මට
දිවත් දික් කරගෙනම
මදුරුවොත්
හූ කියයි මගේ කන්
ළඟට වී
අසරණයි හැමදාම
මං සබී…………
මගෙ අඳුරු කාමරේ
කපරාරු නැති බිත්තියේ
ඔබේ සෙවනැල්ල
තියෙනවා දිලිසෙමින්
අත තියන්නද මං සබී?……………..
ෆර්දාව පිරිමදින
මරතොන්ඩි ගෑ දෙඅත
අල්ලන්නෙ කවදාද
අල්ලාහ් ගෙන් අහනවද
මගේ සබී………………

ඔයා හරි නෝටි

ඔන්න ඉතිං
ඔයා හරි නරකයි
මමත් නැති වෙලා වේ
මගෙ ගෙදර දුවන්නේ
ගෙදර අය රිද්දන්නද?
මතකද එක පාරකුත්
මං ඉන්න කොටම ඇවිත්
අරන් ගියා බඩු මුට්ටු
ඇඩූ කඳුලින් අපි හිටියෙ

මතක් වෙන කොටත් ඇඟ කිලිපොලනවා
පුංචි සන්දියේ නම්
සැර නෑ ඔයා ඔහොම
දැන් තමා ඒකටත් එක්ක
හුඟ කාලෙකින් දැක්කෙ නැති නිසා

හිතුවෙ ආයෙත් එන්නෙ නෑ කියලා
ඉස්සර ඔයාට
අපි තරඟෙට ගල් ගහනවා
ඒ තරහටද
තාමත් අපි හොයාන එන්නේ?

මුතු ඉවුර කඩා ගෙන

කළු ගඟේ සුළි එක්ක
හෝ ගගා මොර දිදී
රෑ පානෙ ආවොතින්
කපනවා වැලි ඉවුර
කළුතරින් චුත වෙන්න

විකිණීමට ඇත

========
අනර්ඝ තත්වයේ
පාවිච්චි නොකළ
        බූට් සපත්තු

විවිධ වර්ණයෙන්
කැමති ප්‍රමාණයෙන්
විකිණීමට ඇත……
එක සපත්තුවක් ඇති අයට
අනෙක සඳහා සිත්ගන්නා සුළු මිළ අඩු කිරීම්!!!!!!
පළමු 10 දෙනාට 10% වට්ටමක්!!!!
ඉක්මන් කරන්න.. තොග සීමිතයි.

Tag Cloud