Archive for January, 2012

කුමාරිහාමි

වළාකුළු බැම්ම මත
සිඳී වියලී ගිය
කඳුළු කැට තවම ඇත
අතීතය මතක් වෙන

මාළිඟේ තේවාව
හඩ ඇහෙන
ඉසව්වක
වැව ඉවුරෙ හැපි හැපී
දුක කියයි
හැමදාම

මරණ යේ ව රෙන්තුව
දික් කරපු දා පටන්
ඈ හිටියෙ
බිය අරන්
දරුවො තුරුලට අරන්

අහස වැලපී හැපී
තුරු වැල්ද නැමි නැමී
හැඩූ දවසක් ඒදා
මහ පොළව සලිතවී

ඈ වැටෙන විට වැවට
වැව දුකට කැළඹුනා
මාළිඟේ කිරීටෙට
එරෙහි වනු බැරි වුනා

අදත් ඈ වැව් දියේ
සිහින් රැළි මවනවා
ඇගේ දුක හිත දරන්
කිරි මුහුද හඩනවා

විප්ලවවාදි මලගම

හඳ ආපු නැති රෑක
නැති වුනේ නුඹ කෝම
ටයර් මල බෙරය මැද
අරලියා ගහක් යට
අන්තිමේ නුඹ හිටියා
මඳහසක් නඟා ගෙන

පොත් පිටුව හෙමි හෙමින්
එකින් එක වෙන් කරපු
නුඹෙ දෑත අවසඟව
අඩි දෙකක් එහායින්

රතු පාට ලේ පොකුරු
එකිනෙකා පරයමින්
මට ඇහෙන්නට හඩයි
අවසාන වදන් වැල

මලගමට ශේෂයක්
ඉතිරි වී නැති තැනක
කඳුළු පැන් වඩා මම
මතක බණ කියන්නම්

ඉණ බැඳුන රෙදි කඩද
නැතිව නුඹ හිඳි නිසා
නුඹ සරම ගෙන හනික
මතක සළු පුදන්නම්

අවසාන බත් කැටිය
උගුර නොපැතූ බැවින්
නුඹෙ බෙලෙක් පිඟානම
දානයට පුදන්නම්

මරණ බය ඉකි ගසන
ගම්මානෙ කළුවරේ
නුඹව හිත දරන් මම
තනියෙන්ම හිඳින්නම්

Tag Cloud