Archive for November, 2010

නූපා III

හ්ම්…

මේ අතරේ තමා වීසා නැතුව අතරමං වෙලා හිටි සුමල් මුන ගැසුනෙ
ලංකාවෙ කමට සහෝදරකමට කතා කළා
සුමල් මට අක්කෙ කිව්වා

Phone එකෙන් ඇහෙන මගේ කටහඩ පොඩි ළමෙක් ගේ වගේ කියලා හැමදාමත් කියන්න එයා පුරුදුවෙලා හිටියා.
ටිකෙන් ටික අක්කෙ කියන එක අඩු වුනා
මං දිගටම මල්ලි කිව්වා
දවසක් ආදරෙ කිව්වා
ආදරේ විඳින්න නොලැබුන මම පුදුම වුනා.
හරියට කාන්තාරෙක දිය පිපාසාවෙන් හිටපු කෙනෙකුට වතුර දැක්කා වගේ
මම හිතුව නම් මං ඒ දැක්කෙ මිරිඟුවක් කියලා මේ දේවල් මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බා.
කසුමියි
සුමලුයි
මායි
එකතු වුනාම පවුල සම්පූර්ණයි කියලා මං අදහන්න පටන් ගත්තා.
අහසෙහි අඳුරු දම් පැහැ වළා එකින් එන ගොඩ ගැසෙයි.නොවැම්බර් සීතල තව තවත් කටුක වන හැටියකි.
තුහින වර්ෂාවක් ටිකෙන් ටික පොළව තෙමාලන්නට අර අඳියි.
පීච් ගස් නිසොල්මංව බලා හිඳි.
ආයෙමත් මට දරුවෙක් ලැබෙන්න ආවා
ඒ සුමල් ගෙන්
එයාට දරුවා නැති කරන්න ඕනි වුණා. අපේ ආදරේ ඵලය විනාස කරන්න මට ඕනි වුනේ නෑ.
මං මං සං ගෙන් ඇහුවා.. දරුවා හදාගන්න පුළුවන්ද කියලා
එයා කැමති වුනෙ නෑ..
අන්තිමට
අන්තිමට
කොහොම හරි සිද්ධවුනේ මගේ දරුවා ඉපදෙන්න කලින්ම මරලා දාපු එක
පිරිමියෙක් තමන්ගේ තනිකම පාළුව රාගය නැති කර ගන්න ගෑණු ගාවට යන එක සමාජෙ පිළිගන්න සතයිමයක්
ඒත් තනි වුණ ගෑණියෙක්
එහෙම කළොත්
ඒක අහස පොළව නුහුලන අපරාධයක් වෙනවා
පිරිමියෙකුට තමන්ගේ හැඟිම් පාලනය කර ගන්න බැරි නිසා එයාලා කරන දේවල් ඔක්කොම හරි
එහෙමයි සමාජ පිළිගැනීම
ඇයි ගෑණුන්ට හැඟීම් ඇති වෙන්නේ නැද්ද?
එයාලා අමුතු සත්තුද?
හැමදේම පාලනය කරගෙන ඉන්න ඕනිද?
රාගය වගේම ආදරෙත් විඳීමේ අයිතිය නැද්ද?
තමන්ට ඉපදෙන්න ඉන්න දරුවා ගැන වුනත් අයිතියක් නෑ
පිරිමියාට ඕනි විදිහට
ඉපදෙන්න එපා නම් මරන්න ඕනි
බැරිවෙලාවත් ඉපදුනොත් සමාජෙ බලන්නෙ වපර ඇහින්
දරුවා ට අවජාතක කියලා නමකුත් වැටෙනවා
බැරිවෙලාවත්
කසාද බැඳපු බිරිඳකට දරුවෙක් නොලැබුනොත්
ඒකෙ සම්පූර්ණ වැරුද්ද බාර ගන්න ඕනි එයා
කවදාවත් පිරිමියා තීරනාත්මක සාධකේ වෙන්නෙ නෑ
ඇයි එහෙම මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ?

නූපා අවසන් වශයෙන් මට ප්‍රශ්නයක් ඉතිරි කළාය.ඇගේ ප්‍රශ්ණය පැහැදිලිය.ලංකාවේ වේවා ජපානයේ වේවා ආසියාතික ගැහැණුකම නූපා ගේ ප්‍රශ්ණයේ සැඟවී ඇති සැටියකි.
මම එයම යළි ඔබෙන් අසමි..
ඇයි එහෙම මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ?

(සුමිත්‍රා රාහුබද්ධ ගේ කන්දක් සේමා කෘතිය ඇසුරෙනි)

නූපා II

මගේ දරුවා
නුපා මුමුනනු ඇසෙයි.
ඇයි නූපා???
දීර්ඝ සුසුමකින් පසු හිස ඔසවා මා දෙස බැළු ඈ
ලංකාවෙදි මට දරුවෙක් ලැබෙන්න හිටියා
එතකොට මට 17 විතර ඇති
මගේ කොල්ලා ගෙන්
කිව්වාය
මං කිව්වා දරුවා හදා ගමු කියලා ..
ඒත් ඌට ඕනි වුනේ
ඒක අයින් කරලා දාලා අත පිහිද ගෙන පැත්තකට වෙන්න
මටත් ඒකට එකඟ වෙනවා ඇර වෙන කරන්න දෙයන් තිබ්බෙ නෑ.
අම්මාවත් දැන ගන්න කළින් කොහේදෝ ගුබ්බෑයමකට ගිහින්
අයින් කළා.. ඒ කියන්නෙ මගෙ දරුවා මරලා දැම්මා…
ඇය දෝතින් මුහුණ වසා ගත්තාය.
පහළ ගෙවුයනෙහි පීච් ගස් මඳ සුළඟේ සැළෙනු පෙනේ.. පීච් මල් හෝ ටියුලිප් මල් නොපිපෙන්නේ මේ ජපානයට වසන්ත කාලය නොවන බැවිනි.
කටුක සීතල මහ පොළව ආක්‍රමණය කර ඇති සැටියකි.
ඈ යළිත් කතාව ආරම්භ කලාය.
ඊට පස්සෙ තමා දැකලාවත් නැති වයසක ජපන් මිනිහෙක් එක්ක මෙහෙ එන්න වුනේ..
මං සං මාව සල්ලි දීලා අරගත්තේ
මං හැමදාම ඇහුවා….
ඔයා මං වෙනුවෙන් කීයක් දුන්නද කියලා
එයා අද වෙනකම් මට කිව්වෙ නෑ..
එයා ඔයාට සලකන්නේ නැද්ද නූපා??
හ්ම්
මං මේ ගේ හදා ගත්තා මට ඕනි විදිහට
මං සං වගේ දඩබ්බර ගතානුගතික ජපන් පුරුෂයෝ කැමති වෙන්නෙ නෑ කවදාවත් තමන්ගේ ගෑනිගෙ අදහස් වලට අනුව දෙයක් කරන්න.
ඒත් මං කිව්වා ගෙදර ඉන්නේ මං නිසා මගේ අදහසුත් ඇතුල් වෙන්න ඕනි කියලා..
ගෙයි plan එක අඳින්න ආව මිනිහවත් මගේ අදහස් පිළිගන්න අකමැති වුනා.
මේ විජාතික ගෑනි මේ මිනිහව අල්ලෙ නටවනවා කියලා හිතන්න ඇති.
මං සං කිව්වා මගේ අදහසුත් පිළිගන්න කියලා.
කසුමිට පස්සේ තවත් දරුවෙක් මට ඕනි වුනා. මං සං මාත් එක්ක එක ඇඳ බෙදා ගත්තෙ නෑ..
මගේ ආවේග ඔක්කෝම මං හිතේ හිර කරන් හිටියා..
කසුමි වෙනුවෙන්

මං සං කොන්ද නමලා දෙතුන් පාරක් සමාවෙන්න කියලා කියන එක විතරයි.

නූපා I

ඊයේ නූපා සමඟ ජපානයේ තනි වූ යෙමි.නූපා ගේ පෙනුම සිත් ඇද ගන්නා සුළුය.වක් වූ ඇහිබැමි වලින් වට වූ දෙඇස කාන්දමක් වැනිය.ඒ දෑසට වශීවන කෙනෙක් නොමැති තරමි.මෙතරම් දවසක් අප හමුවීම පමා වූයේ මන්දැයි වරක මට සිතේ.ඇය පෙරළිකාරියකි.නූපා මට හමු වූයේ BMICH හි පැවති පොත් ප්‍රදර්ශනයේ දීය.එහෙත් ඊයේ දිනය වන තෙක් ම ඇය හා තනි වන්නට ඉස්පාසුවක් නොලැබුනි.
නිගතාවේ සකුරා මල් සමඟ ටියුලිප් මල් පිපෙන දෙමහල් කුඩා නිවසෙ එළනු ලැබූ තතමි පැදුරෙහි දණ නමා මිටි මේසය මත තබා තිබූ හරිත තේ ස්වල්පයක් මා ඉදිරිපිට ඇති කෝප්පයට වත් කරන නූපා කතා කරයි. මං සං පෙනෙන්නට නොමැත. කසුමි රූපවාහිනි යන්ත්‍රය ළඟ දණ ගසාගෙනය.
නූපාාාාාා
මට ඔයා ගෙ නම ඇහෙන කොට හැමදාම මතක් වෙන්නේ
රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
කම්පසේ දෙන සැර ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කවිය
කවුද නූපා ඔයාට නම තිබ්බේ?
ඇය සිනා සුනාය..
අම්මා…
අම්මා මගේ නම තිබ්බෙත් ඔය කවිය නිසා තමා….
ඇගේ කටහඩ සිත් අලවනා සුළුය.
නූපා සකේ බොන්නෙ නැද්ද?
නෑ මං බොන්නෙ නෑ..
ඒත් මෙහෙ තමා සකේ හදන හොඳම හාල වගා කරන්නේ..
ඒ වගේම හොඳම සකේ ත්…
නූපා සිනා සුනාය..
තාමත් මම ලංකාවෙන් ආව විදිහමයි.
මට නම් මේ සීත ඔරොත්තු දෙන්නෙ නෑ වගේ
දැන් මේ නොවැම්බර්
මළවුන්ගේ අවුරුදු දවස්
මේ ජපන් මිනිස්සු තමන් ගේ මුතුන් මිත්තන් සිහි තරනවා..
ඔවුන් ගේ ආත්ම වලට වැඳ නමස්කාර කරනවා
හ්ම්
ඇයි නූපා??
නෑ
මගේ මැරුන අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි ආත්මත් ජපානෙට ආවා නම් මට පාළු හිතෙන එකක් නෑ.. එහෙනම් ජපන් නම් දාගෙන එයාලට මෙහෙ හැමදාම ඉන්න තිබ්බා..
නුපා ජපන් කිමෝනාව නාඳියි..
ලංකාවෙන් රුගෙන ආ පෙනුම එලෙසම තබා ගෙන සිටි.
මේ නිගතාවෙ හුඟක් අය ගොවියො
මං සන් නම් රජයේ සේවකයෙක්.. මං ඒ ගැන සතුටුයි
ඔහු කසුමි ලැබෙන්න ඉද්දී රස්සාවෙන් අස් වුනා.
එයා වගේ වයසක කෙනෙක් ට කසුමි ව ගොඩක් වටිනවා.. මට වගේම
ඇය කසුමි දෙස ආදරණිය ව ටික වේලාවක් බලා සිටියාය.
මං කසුමිව හොඳින් බලා ගන්නවා..
මට පොඩිකාලේ වෙච්චි දේවල් නොවෙන්න
ඇය මුහුණ බිමට නැඹුරු කර ගෙන සිටි.
ඇයි නූපා?
ඔයාට මොකද වුනේ??
දන්න අඳුනන පිරිමි අතින් මට ගොඩක් හිරිහැර වුනා.
මගේ අම්මාගෙ සීයා කෙනෙක් හුඟක් වෙලාවට මාව ඔඩොක්කුවෙ තියා ගෙන හුරතල් කරනවා.ඒත් පුංචි වුනත් මට දැනුනා ඒ වැඩේ කරන්නේ මට ආදරේකට නම් නෙවෙයි කියලා
දඟලලා හූරලා පැත්තකට පනින්න මං පුරුදු වෙලා හිටියා.
අම්මලාට වුනත් ඒ ගැන තේරුමක් තිබ්බෙ නෑ.
එයාලා හිතන්නෙ ආදරේට කියලා..
ඒත් මගෙ කසුමිට මං එහෙම වෙන්න දෙන්නෙ නෑ
මගෙ පැටියව මං බලා ගන්නෙ මගෙ ඇස් දෙක වගේ..
නූපා නෙත් කෙවෙනි පොඩි කරයි.


Tag Cloud